උසාවියේ අසන නඩු සේ ලියැවෙන, කියැවෙන සෙත්කවි …


 

දෙවන කොටස

 

මෙසේ ලියැවෙන සෙත්කවිය තනිවම නිවැරදි අක්‍ෂර උච්ඡාරණය කිරීමේ හා වචන බෙදී යන තැන්හි නිවැරදි පද බෙදීමක් සහිතව ගායනා කළ හැකි අයෙකුට තමාගේ අපලයට ලියැවුන සෙත්කවිය තමාටම ගායනා කරගත හැකි වන්නේ නමුදු ගම් සභා උසාවියකට හෝ මහෙස්ත‍්‍රාත් උසාවියකට හෝ මහාධිකරණයකට හෝ නොපිවිස නඩුවක් පාරේ හෝ බොක්කුවක් උඩ වාඩි වී හෝ මංසන්ධියක නැවතී හෝ කථා කළ නොහැකිවාක් මෙන් ඊට අදාළ ස්ථානයක් වෙත යොමු විය යුතු වීම අනිවාර්යය කටයුත්තක් වන බව සිහි තබා ගත යුතුය.

 

තමුනට ස්වෛරීව තනිවම සෙත්කවිය කියවීම සඳහා හැකියාව තිබූව ද ගම් සභා උසාවියක් හෝ මහෙස්ත‍්‍රාත් උසාවියක් හෝ මහාධිකරණයක් රැස් කිරීමට තමුනට බලතල ඇත්තේ තමුන් ඒ සඳහා අදාළ පටිපාටිය අනුගමනය කරමින් නඩුගොණුව සකසා නීතිය හා සාමය රකින පාර්ශවයන් මගින් අදාළ උසාවිය වෙත නඩු ගොණුව යොමුකරවීමෙන් පමණි.

 

නැතිනම් නීතිය හා සාමය රකින පාර්ශවය වෙත තමනට වූ අසාධාරණය ඉදිරිපත් කර ඊට අදාළ පැමිණිල්ල ඔවුනට ප‍්‍රථමයෙන් යොමු කළ යුතු වෙයි. එවිට ඔවුන් එම කාරණයට අදාළ ව නඩුවක් ගොණුකර උසාවියට ඉදිරිපත් කරයි. නැතිනම් තමුන් උසාවියට නඩු ගොණුවක් යොමු කිරීමට බලතල ඇති නීතීඥවරයෙක් මාර්ගයෙන් තම අසාධාරණයට අදාළ සිද්ධිය නඩු ගොණුවක් වශයෙන් ඉදිරිපත් කළ යුතුය. එවිට උසාවිය සියළු පාර්ශවයන් කැඳවා සිද්ධියට අදාළ අසාධාරණයට ලක් වූ අයට නිසි සාධාරණ විශ්චයක් තර්කාණුකූල සාක්‍ෂි මතින් ලබාදෙයි.

 

මෙම සිදුවීම පුද්ගලයාට බලපාන ග‍්‍රහ අපල සඳහා ලියැවෙන කියැවෙන සෙත්කවියට අදාළ වන්නේ කවර නම් ආකාරයකට ද යන්න විමසා බැලිය යුතුය.

 

උසාවිය රැස්කිරීමේ බලතල යනු සියළු දේවතා කොට්ඨාශ හා අමනුෂ්‍ය කොට්ඨාශ රැස් කිරීමට අවශ්‍ය ස්තෝත‍්‍ර, යාදිනි, කන්නලව් ආදිය දැනසිටීම වශයෙන් පෙන්වාදිය හැකිය. එසේම නීතිය හොඳින් උගත් නීතීඥවරයෙකු වෙත යොමු වී තමන්ට සිදු වූ අසාධාරණය පැහැදිළි කළ යුතුවාක් මෙන් තමන්ගේ ග‍්‍රහ අපලයට අදාළ සෙත්කවිය රචනා කිරීමට ප‍්‍රථමයෙන් තමුනට බලපාන ලද ග‍්‍රහ අපලය කුමක් ද යන්න නිශ්චය කර ගැනීමට දක්‍ෂ දෛවඥවරයෙකුගේ පිහිට ලබාගත යුතු වෙයි.

 

එවිට හෙතෙම අදාළ පුද්ගලයාට බලපාන ලද ග‍්‍රහ අපලය කුමක් ද යන්නත්, ඔහුට හෝ ඇයට හිමි වූ කේන්ද්‍ර සටහන නැතිනම් විශ්ව ග‍්‍රහ සිතියම පරීක්‍ෂා කොට ඊට අදාළව ගණ පිහිටුවා සෙත්කවිය රචනා කළ යුත්තේ කවර නම් දෙවි කෙනෙකුන්ගේ පිහිට අයැදිමින් දැයි සොයාගනිමින් එම දේවතාවුන් කෙරෙහි භක්තිවන්තව සෙත්කවිය රචනා කරයි.

 

එසේම නඩු ගොණුව උසාවියට භාර දීම සඳහා උසාවියට යා යුතු බැවින් දේවාලයකට හෝ බොධියක් වෙත යොමු වී ග‍්‍රහ දේවතාවුන්ට, සම්මුති දේවතාවුන්ට සහ වෙනත් අමනුෂ්‍ය කොට්ඨාශයකට අ`ඩගැසිය යුතු නම් ඒ අයට ද එතැනට රැුස්වන ලෙස ආරාධනා කළ යුතුය. මේ සඳහා එකී කොට්ඨාශයන් වෙත ආමන්ත‍්‍රණය කිරීමට ස්තෝත‍්‍ර, යාදිනි, කන්නලව් ආදිය භාවිත කිරීමට සිදු වෙයි. ඒ සඳහා එකී ස්තෝත‍්‍ර යාදිනි, කන්නලව් කළ හැකි දේවගැතිවරයෙකු සොයා ගැනීම අත්‍යාවශ්‍ය කරුණක් වෙයි.

 

උසාවියේ දී නීතීඥවරයාගේ ගාස්තුව ගෙවන්නාක් මෙන්ම අදාළ සෑම පාර්ශවයන් වෙතම පුද පිදවිලි ලබා දිය යුතු වෙයි. මේ සඳහා කැවිළි, පළතුරු, මල්, බුලත්, දෙසඳුන්, සුවඳදුම් සහ පහන් ආලෝකය ලබාදීම අනිවාර්යය වෙයි. අමනුෂ්‍ය කොට්ඨාශයන් වෙත් නම් පුළුටු, දියගොඩ මස් ආදිය ද ඇතැම් විට තැබිය යුතුවෙයි. ඒවායේ අඩුපාඩුවක් වූයේ නම් තමුන් බලාපොරොත්තු වන්නා වූ යුක්තිය ඉටුකරවාගැනීමට යම් යම් ප‍්‍රමාදයන් ඇති වන්නේ නඩුවක් ඊළඟ නඩු වාරයට කල්තැබීමෙන්  දික්ගැසෙන්නාක් මෙනිය.

 

නඩුවක් විනිශ්චය කරන අවස්ථාවේ දී විනිසුරුවරයාට ආමන්ත‍්‍රණය කිරීමට නීතීඥවරුන්ට වඩා තෝල්ක තැනට බලතල ඇතිවාක් මෙන් එකී ස්තෝත‍්‍ර යාදිනි, කන්නලව් කළ හැකි දේවගැතිවරයෙකු, කපු මහතෙකු හෝ විහාරස්ථානයක නම් දක්‍ෂ චන්දස් ශාස්ත‍්‍රයෙහි කෙළ පැමිණි යතිවරයාණන් කෙනෙකු ඒ සඳහා වඩාත්ම සුදුසු වෙයි.

 

ඔවුන් ළවා තමුන්ගේ අපළයට ලියැවෙන සෙත්කවිය කියවාගැනීම මෙහි දැක්වෙන පිළිවෙල අනුගමනය කරමින් කරන්නේ නම් ඉතා ඉක්මන් සාර්ථක අත්දුටු ප‍්‍රත්‍යක්‍ෂ ප‍්‍රතිඵල ලබා ගත හැකි වන්නේය. වසර ගණනාවක් තිස්සේ රාජගිරිය, මාදින්නාගොඩ ග‍්‍රාමයේ සුවහසක් දනන් වෙනුවෙන් අප විසින් රචනා කොට ගායනා කරන ලද අපමණ සෙත්කවිවලින් සාර්ථක ප‍්‍රතිඵල අත්දුටු බව සුරම්‍යාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍යපාද දොඩම්ගොල්ලේ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ සාක්‍ෂි දරණ බව අප‍්‍රමාණ බැතියෙන් සොම්නස් හදින් සිහිපත් කරමි.

 

එම්. එම්. රෝහණ වසන්ත.

Comments are closed.