පුද්ගල ඉරණම නැමැති පරිගණක මෘදුකාංගය


(දෙවන කොටස – ඉරණම නැමති මෘදුකාංගය ලියන පරිගණක භාෂාව දෝසතරයි)

මෙම ක‍්‍රියාවලියට නතුු වන පරිගණකය සහ එහි ක‍්‍රියාත්මක මෘදුකාංග නිර්මාණය වී ඇති ආකාරය ඔබ මෙම ලිපියේ පළමු කොටසින් මනාව අවබෝධ කරගන්නට ඇතැයි අප සිතමු.

මෘදුකාංගයක් කේතනය කිරීමේ නැතහොත් යම් විධානයක් සැපයිය යුතු ආකාරය කෙසේ විය යුතු ද යන්න පරිගණකයට හඳුන්වා දීමේ ක‍්‍රියාවලිය කෙසේ සිදුවන්නේ ද කියා විමසා බලමු.

පළමුවෙන්ම යම් සිදුවීමක් අවශ්‍ය වේ. එම සිදුවීමට අදාළ කරුණ කුමක් ද යන්න පැහැදිලි කර ගැනීම ප‍්‍රථමයෙන්ම සිදු කළ යුතු වෙයි. මිනිසා යන සත්වයා අදාළ කරුණ ලෙසින් ඉදිරිපත් කළ හැකිය. විවිධ දාර්ශනික හා ආගමික මතවාදයන්ට අනුරූපව මිනිසා යනු අති සංකීර්ණ ප‍්‍රපංචයක් වශයෙන් පෙන්වාදිය හැකිය. මෙම අති සංකීර්ණ ප‍්‍රපංචය ක‍්‍රියාත්මක වන ආකාරය සැළකිල්ලට ගැනීමේ දී එය ස්වාභාවික මානසික ක‍්‍රියාවලීන් සමුදායක් තුළින් මෙහෙයවන භෞතික ශරීරයකින් සමන්විත වන බව දැක ගත හැකිය.

භෞතික වශයෙන් මිනිසා ඉන්ද්‍රිය පද්ධතියක එකතුවක් වශයෙන් ගත හැකිය. එය විශ්ලේෂණය කිරීමේ දී පමණක් වෙන් වෙන් වශයෙන් පවතියි. එසේ නොමැති අවස්ථාවන්හි දී ඔහු හෝ ඇය පුද්ගලයෙක් වශයෙන් හඳුනාගත හැකි භෞතික ශරීරයකින් පෙනී සිටියි.

භෞතික ශරීරයේ ක‍්‍රියාකාරීත්වය මානසික ක‍්‍රියාකාරීත්වය මත සිදුවෙයි. මානසික ක‍්‍රියාකාරීත්වයෙන් භෞතික ශරීරය අත් මිදුන විටෙක දී නැතහොත් භෞතිකයෙන් මානසිකත්වය විසන්ධි වීමක් සිදුවන විටක දී භෞතික ශරීරය ක‍්‍රියා විරහිත වෙයි. මේ පිළිබඳව සිදු කරන ලද ගැඹුරු විශ්ලේශනයන් තුළින් පුද්ගලයාගේ භෞතිකය හා මානසිකත්වය යන ඒවා එක්ව පවතින අවස්ථාවන්හි දී එම දෙකෙහිම අන්‍යෝන්‍ය සබැඳියාවකින් තොරව පුද්ගල භෞතිකයට මෙන්ම මානසිකත්වයට ද බලපාන ආකාරයේ ශක්තීන් ක‍්‍රියාත්මක වන බව ඒ පිළිබඳව කරන ලද පර්යේෂණ තුළින් පැහැදිළි කර ගෙන ඇත.

මෙම තත්වය ආගමික පැහැදිලි කිරීමක දී දෙවියන් වහන්සේ නම් වූ පුද්ගලයෙකුගේ බාහිර මැදිහත්වීමක් වශයෙන් අර්ථනිරූපණය කර ඇති බව දැකගත හැකිය. බෞද්ධ විග‍්‍රහයට අනුව පුද්ගලයෙකු හෝ සත්වයෙකු වශයෙන් ගත හැකි දෙයක් නැති බව කියැවේ. නමුත් සම්මතය තුළ මිනිසා, පුද්ගලයා සහ සත්වයා යන ව්‍යවහාරය ක‍්‍රියාත්මක බව බව බුද්ධ දේශනාව තුළින් කරුණු පැහැදිළි කර ගත හැකිය.
බෞද්ධ විග‍්‍රහයට අනුව මිනිසා, පුද්ගලයා සහ සත්වයාට සිදුවන මෙම බාහිර මැදිහත්කරණය වශයෙන් අවස්ථා 5 ක් උපයෝජනය වන බව පෙන්වා දී ඇත. එය නියාම ධර්ම වශයෙන් ක‍්‍රියාත්මක වන බව පැහැදිළි කර ඇත.

x බීජ – වෘක්‍ෂලතාදියෙහි පැවැත්ම

x සෘතු – කාලගුණික තත්වයන්ගේ බලපෑම

x චිත්ත – මිනිස් මනස

x කම්ම – මිනිස් මනසේ ක‍්‍රියාකාරීත්වය

x ධම්ම – ඇතිවීම, පැවතීම, නැතිවීම, ලෝක පාලන ධර්මතාවන්, ලෝකයේ සහ එහි පවතින චක‍්‍රීය ස්වභාවය තුළ නිර්ණායක

මෙම ලෝක ධර්මතාවන් අවස්ථා 8ක ක‍්‍රියාත්මක වෙයි. ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප‍්‍රසංසා, සැප, දුක් වශයෙන් ක‍්‍රියාත්මක වෙයි. මෙහිලා සෘතු හා බීජ අවස්ථා දෙකට අමතරව තවද අවස්ථා තුනක් ක‍්‍රියාත්මක වෙයි. එනම්, චිත්ත, කම්ම සහ ධම්ම යන අවස්ථා තුනයි.

මෙයින් ද චිත්ත සහ කම්ම යන අවස්ථා දෙක වඩාත් ගැඹුරිව් පැහැදිළි කිරීමකට ලක් කර ඇත. මේ තත්වය ඛුද්දක නිකායේ කාණ්ඩ 15න් එකක් වන ධම්ම පදයේ චිත්ත වග්ගය තුළින් දැකගත හැකිය. මීට ඉහත අප විසින් ලියන ලද ජ්‍යොතිෂය හා කර්මයේ දෛවය පිළිබඳ මතවාද, චර්යා සහ ආවේගයන්ගේ ගති සංකලනය (දෛව සින්ඩ්‍රොමය) තුළ සිරවීම යන ලිපිය නැවත කියවා බලන ලෙස සිහිපත් කරමි. පුද්ගල ජීවිතය නැමැති සිනමා පටයේ පුද්ගලයාගේ සහ මානසික ක‍්‍රියාවලියේ ප‍්‍රතිඵලයක් වශයෙන් කර්මය සහ කර්ම ඵලය යන අවස්ථා දෙකෙහි වංචක ධර්මතාවයෙන් යුතුව මතුවන කර්ම ඵලය නැමැති ප‍්‍රධාන චරිතයේ ආධිපත්‍යයට, ග‍්‍රහණයට පුද්ගලයා ගොදුරුවන ආකාරය මැනවින් පෙන්වා දී ඇත්තෙමු.

මෙම ලිපියේ දී අප පුද්ගල ජීවිතය නැමැති සිනමා පටයේ ප‍්‍රධාන චරිතය වන දෛවය නැතහොත් ඉරණම යන්න පරිගණක මෘදුකාංගයක් වශයෙන් ක‍්‍රියාත්මක වන ආකාරය පෙන්වා දීමට අදහස් කර ඇති බව මෙම ලිපියේ මාතෘකාවෙන් පැහැදිළි කර ඇත. එසේම එම මෘදුකාංගය නිර්මාණය කරන නැතහොත් එය රචනා කරන පරිගණක භාෂාව තේරුම් කර දීමට උත්සාහ ගනිමු.

පුද්ගලයා සත්වයා යන ප‍්‍රපංචය කෙරෙහි බලපාන දෛවය නැතහොත් ඉරණම යන්න වෙනත් කිසිවක් නොව, පුද්ගලයා විසින් ම කරන ලද චේතනාත්මක ක‍්‍රියාවන්ගේ ප‍්‍රතිඵලය වශයෙන් පෙන්න්වා දිය හැකිය.

පුද්ගල ඇගයුම්, චින්තන රටා, සිතුම් පැතුම්, ඇවතුම් පැවතුම්, භවගාමී චර්යා සහ පුද්ගල ජීවිතය හා බද්ධ සෑම කරුණක් ම එහිලා ජ්‍යෝතිෂය මගින් පැහැදිළි කර ගත හැකි සේම අවබෝධ කර ගත හැකිය.

මෙහි දී පරිගණක මෘදුකාංගයක් ලෙසින් පුද්ගලයාට බලපාන ඉරණම ක‍්‍රියාත්මක වන අවස්ථාවක දී එම මෘදුකාංගයේ ස්වභාවය කවර ආකාරයේ එකක් ද යන්න විමසා බැලිය යුතුය. පුද්ගලයාගෙන් පුද්ගලයාට එය වෙස් වෙයි. එහි පුද්ගල අනන්‍යතාවයක් දැකගත හැකිය. එසේ නම් මෙම ඉරණම යන්න විවෘත මෘදුකාගයක් ලෙසින් පෙන්වා දිය හැකිය.

මෙම විවෘත මෘදුකාගය  පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන අතර එසේ ඇති වන වෙනස්වීම කවර සාධක මත සිදුවන්නේ ද යන්න විමසිය යුතු ඊළඟ කරුණයි. පුද්ගල ඇගයුම්, චින්තන රටා, සිතුම් පැතුම්, ඇවතුම් පැවතුම් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. එය භවගාමී චර්යාවක් ලෙසින් පුද්ගලයාට ක‍්‍රියාත්මක වීමේ දී භව අන්තර කාලය නැතහොත් භවාන්තරය නැමැති තිමිරයෙන් අඳුරෙන් වැසී පැවතීම හේතුවෙන්, වර්තමාන පුද්ගලයාට සිය පූර්ව කර්ම පථයේ විපාක ධාරාවේ ගලා ඒම දැක ගත නොහැකිය.

මෙය ඇත්තෙන්ම පරිගණක භාෂාවකින් ලියන ලද පරිගණක මෘදුකාංගයක්ය. යම් මෘදුකාංගයක් පරිගණක භාෂාවක් ඇසුරු කර ලිවීමේ දී අනුගමනය කරන පියවර කිහිපයක් වෙයි. එම පියවර අතර පවතින එක් පියවරක් නම් විධාන සැකසුම (Source Code)  සංකේතනය(Compose)  කොට දැක්වීමයි. එවිට එම සංකේතන ක‍්‍රියාවලිය මගින් විධාන සැකසුම තනිව ක‍්‍රියාත්මක විය හැකි (Self Executable) එකක් බවට පරිවර්ථනය කරයි. එසේම එම මෘදුකාංගය ගොණුවක් වශයෙන් පවතින අවස්ථාවේ දී පැහැදිළිවම එය ඊඑක්ස්ඊ ගොණුවක් බවට හරවාලයි. එම ගොණුව සෘජු විවෘත කර බැලීමක දී විධාන සැකසුම යන්ත‍්‍රභාෂවට ඉතා සමීප භාෂාවකින් ලියා ඇති කේතාංක රැුසක් පමණක් දැකගත හැකිය.

භවගාමී චර්යාවක් ලෙසින් පුද්ගලයාට ක‍්‍රියාත්මක මෙම පුද්ගල ඇගයුම්, චින්තන රටා, සිතුම් පැතුම්, ඇවතුම් පැවතුම් ආදියෙහි පූර්ව කර්ම පථයේ විපාක ධාරාව විකේතන ක‍්‍රියාවකට ලක් කොට පූර්ව කර්ම පථයේ ස්වභාවය දැක ගත හැකිය. ඒ සඳහා නව මෘදුකාංගයක් වශයෙන් පෙන්වා දිය හැකි ජ්‍යෝතිෂය ඉදිරිපත් කර ලිය හැකිය.

එසේම මෙම නව මෘදුකාංගය පරිගණක භාෂාවක් වශයෙන් ද හඳුන්වා දිය හැකිය. ඒ කෙසේ ද යත්, මෘදුකාංග සංගෘහිත කට්ටල වශයෙන් සහ භාෂාවන් වශයෙන් (Packages and Languages)  පවතින බැවැනි.

මේ අකාරයට සංකේතනය වී ඇති විධාන සැකසුම දෙස බැලීමේ දී භවාන්තරය නැමැති තිමිරයෙන් අඳුරෙන් වැසී පවතින පුද්ගල පූර්ව කර්ම පථයේ විපාක ධාරාවේ ගලා ඒම දැක ගැනීමට නම් සංකේතනය වී ඇති විධාන සැකසුම විකේතන ක‍්‍රියාවලියකට ලක් කළ යුතුය. ඒ සඳහා ශක්‍යතාවය ඇති භාෂාව ජ්‍යෝතිෂයයි.
පුද්ගල පූර්ව කර්ම පථයේ විපාක ධාරාවේ ගලා ඒම විකේතන ක‍්‍රියාවලියක් මගින් පරීක්‍ෂාවට ලක් කළ යුත්තේ ඇයි ද ? යන ප‍්‍රශ්නය වැදගත් එකකි. පටිච්ච සමුප්පන්න ආර්ය සත්‍යය තුළ දැකගත හැකි ද්වා දස හේතු ප‍්‍රත්‍යයන් අවිද්‍යාව නැමති මෙම චක‍්‍රයේ ස්වභාවය නොදැක හිඳිම වටා චක‍්‍රයක ආකාරයෙන් ක‍්‍රියාත්මක වෙයි. ”අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං, …තන්හා පච්චයා උපාදානං, උපාදන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා සංභවන්ති…”

මෙම තත්වය තේරුම් ගත යුත්තේ ඇයිද යන ප‍්‍රශ්නය නැතහොත් විකේතන ක‍්‍රියාවලියක් මගින් පුද්ගල පූර්ව කර්ම පථයේ විපාක ධාරාවේ ගලා ඒම පරීක්‍ෂා කළ යුත්තේ ඇයිද යන ප‍්‍රශ්නයට නිවැරදිම පිළිතුර වශයෙන් මෙම තත්වය පෙන්වාදිය හැකිය.

හුදු ජීවන පලාඵල කථනයකට පමණක් ජ්‍යොතිෂය සීමා කර තැබීම අප අනුමත නොකරමු. මෙයට හේතුව නම්, පුද්ගල කර්ම පථයේ විපාක ධාරාවේ ගලා ඒම පරීක්‍ෂා කළ යුත්තේ ඉරණම ලියැවී ඇති ආකාරය බලාගැනීම සඳහා නොවේ.
එසේනම් ඉරණම නැමැති පරිගණක මෘදුකාංගයෙන් අප සිදුකිරීමට අපේක්‍ෂිත ප‍්‍රධාන ඉලක්ක ගත ප‍්‍රතිඵලය කුමක් විය යුතු ද? බටහිර විද්‍යාඥයින් කාල යන්ත‍්‍රයක්

( Time Machine)  සෑදීමට උත්හාස ගත්තේ එමගින් අතීතයට ගොස් අතීතයේ අපට කරගත නොහැකි වූ දේ සහ අපට වැරදුන තැන් සකසා ගැනීමේ ප‍්‍රධාන අපේක්‍ෂාවෙනි. නමුත් අපට කාල යන්ත‍්‍ර අවැසි නැත. අප සතුව මෙම පුද්ගල ඉරණම නැමැති පරිගණක මෘදුකාංගය ලියන ලද පරිගණක භාෂාව තිබේ.

එමගින් ජ්‍යෝතිෂය නැමැති පරිගණක භාෂාව ඇසුරු කොට පුද්ගල කර්ම පථයේ විපාක ධාරාවේ ගලා ඒම පරීක්‍ෂාවට ලක්කර මෙම විවෘත මෘදුකාංගයේ පවතින දොෂහරණය (Error Handling) කළ හැකිය.

ඉරණම නැමැති පරිගණක මෘදුකාංගයේ දෝෂහරණ ක‍්‍රමවේදය (Error Handling Process) පිළිබඳව මීළඟ ලිපියෙන් කරුණු බලාපොරොත්තු වන්න.

Comments are closed.